පසුදින උදෑසන හිරු නැග එත්ම තම ගමන් බෑගය අතට ගත් සාරංග නිවසින් පිටත්ව යාමට සූදානම්ව පහලට ආවේය.. අදත් වෙනදා වගේම අම්මා සාරංග පිටත් වීමට පෙර දොරකඩටවී ඔහු එනතුරු බලා උන්නාය.. සාරංග මීටත් පාන්දර නික්මුන දිනවල පවාද අම්මා ඔහු පිටත් වීමට මත්තෙන් මෙලෙස දොරකඩ ලග බලා උන්නාය..
" අද පුතාගේ යාළුවත් එනවද? "
" නැහැ අම්මේ.. අද මම තනියම යන්නේ.."
" හොදයි පුතේ.. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න.."
" සදුදා ගමන අමත කරන්නේ එහෙම නෑ හරිද.. "
තාත්තා කවදාවත් නැතිව සාරංග යන පෙරමගට විත් පැවසුවේය.. ඊට කිසිත් පිළිතුරක් නොදුන් සාරංග දෙමාපියන්ගේ දෙපා නැමද නිවසින් පිටත් වූවේය..
ගාලු නගරයට වනතෙක් වාහනය පදවාගෙන ආ සාරංග හදිසියේම ගාලු කොටුව ආසන්නයේ වාහනය නතර කලේය.. උඩවලවට යාමට එතරම් හදිස්සියක් ඔහු තුල නොතිබුන නිසාම කොටු පවුරේ මොහොතක් නතරවී යාමට ඔහු සිතුවේය.. ඒ සාරංග හා අනුශා නිතර හමුවූයේ මේ කොටු පවුරේ නිසාය.. ඔවුන්ගේ මතක අදත් කොටු පවුරේ හැමතැනකම රැදී තිබුනි..
කොටු පවුර දිගේ ටික දුරක් ඇවිද ගිය සාරංග ඔවුන් හැමදාම වාඩිවී කතා කරමින් උන් තැන මොහොතකට නතර විය.. කවදාවත් නොමැකෙන්න හිතාගෙන සාරංගත් අනූශාත් කොටු පවුරේ අකුරු කල ඔවුන්ගේ නම් දෙස සාරංග මොහොතක් බලා සිටියේ දෙනෙතින් වැටෙන්න නොඉවසිල්ලෙන් බලා හිදින කඳුළු බිදුවක් සගවා ගනිමින්ය..
නොමැකෙන්න අකුරු කල නම් වල පාට දැන් ටිකෙන් ටික අඩුවී ගිහින්ය.. ආයෙත් එන දවසක් එය මැකී තියේවියි සාරංග සිතුවේය.. එදාට එතන සාරංග අනූශා වෙනුවට වෙනත් කාගේ හෝ නම් තිබේවියි සාරංග දෑසට උනා ආ කඳුළු බිදුව පිසදමමින් කල්පනා කලේය..
අනුශාගේ මතක අතරම කාලය කොතරම් ගෙවුනාදැයි සාරංගට නොදැනුනේය.. අම්මා ඊයේ ගෙනා යෝජනාව ගැන සිතන්න තරම්වත් හිතේ ඉඩක් සාරංගට නොතිබුනේය.. දගකාර පොඩි එකෙක් නිසා සාරංගගේ සිතුවිලි ගොන්න නොබිදෙන්න සාරංග එදා දවසම කොටු පවුරේම හිදිනු ඇත..
නික්මෙන්න හිත නොදුන්නත් ආයෙත් වාහනයට පැමින සාරංග එය පණනංවා ගත්තේ කවුරුන් හෝ බල කලාක් මෙන්ය.. මන්ද සාරංගගේ හිත තව එක් මොහොතක් හෝ එහි රැදෙන්නැයි ඉල්ලූ නිසාය..
කොටු පවුරේ නැවතුන නිසාම සාරංග උඩවලවට එනවිටත් රෑ බෝවී තිබුනි.. කලින් සිතා උන් වැඩ සියල්ලම හෙටට කල්දැමූ සාරංග තානායමේ ලැගුම් ගත්තත් නින්ද ඔහු අසලවත් නොතිබුනේය..
පොහොය ලබන්නත් තිබුනේ දිනක් පමණක් නිසාම කව්ළුවෙන් මුදු සද එළියක් කාමරයට වැටෙමින් තිබුනේය.. කව්ළුව ලගට ගිය සාරංග සද දෙස බලගෙන කල්පනා කරන්නට විය.. අරමුණක් නැතිව දිව ගිය හිත නතර උනේ සාරංගගේ මව ඊයේ පැවසූ වදන් ලගය..
අම්මලා කියන ලෙස ජීවිතය අළුතින් දකින්න තරම් ශක්තියක් සාරංගගේ හිතේ තිබුනේ නැත.. ඒත් හැමදාමත් අම්මාට බොරු පොරොන්දු දීමට සාරංග අකමැතිය.. නිමාවක් නැති හිස් අවකාශයක පිළිතුරු සොයා ඇවිද ගිය හිත හැමදාමත් වගේම කළුවරේම නතර විය..
හිත දුක් විදින හැම මොහොතකම වාගේ ඒ දුක කවියකට අකුරු කල සාරංග කවි පොත අතට ගෙන සොදුරු කවක් ගෙත්තම් කලේය..
නුඹ නොකියාම ගිය දුර
මගෙන් බොහෝ ඈතයි
මිරිගුවක් වාගේ දෙනෙත් ලග
ඇදෙයි පියවර තබන වරක් ගානේ..
ඇයි අපි මෙලෙස සිත් ලග
හමු උනේ ආදරයෙන් නොලැබෙන
නුඹ වෙනතක මමත් වෙනතක
ආදරේ පීරූ හිත් කඳුළින් දෙතැනක..
දහස් ගව් දුර සොයා එන්නම්
නුඹ මගේම වෙනවනම් ආයෙමත්
නුඹ සොයා හති වැටුන හිත
සනසවන්න යලි නුඹම එනවාද..
ලියා නිම උන කවිය දෙස බලා සැනසුම් සුසුමක් හෙලූ සාරංග එය පසෙකින් තැබුවේය.. වෙහෙසුන හිතත් හෙටට නියමිත වැඩ ගැනත් සිතූ සාරංග බලෙන්ම නෙතු පියා ගත්තේ එළබෙන උදෑසන සුන්දර වෙන්නයි සිතාගෙනය..
12 comments:
දෙමාපියන්ගේ කැමත්ත කියලා අකමැත්තෙන් කෙනෙක්ව ජීවිතෙට ගන්න බැ අයියේ..කොහෙත්ම බැ..කෙනෙක් වෙනුවෙන් හැඩ ගැහෙන්න බැරි නම් හැමදාටම තනිකඩම ඉන්න එක හොදයි..
හ්ම්ම් එළඹෙන උදෑසන සුන්දර ඇති කියලා මම හිතනවා. අලුත් බලාපොරොත්තුවක්.
ලස්සනට ලියලා තියෙනවා. නවකතාවක එක් පරිච්චේදයක් කියෙව්වා වගේ. මට මුල කොටස කියවන්න බැරි උනා. ඒකත් කියවලම එන්නම්.
දුක හිතෙන කතාවක්......නිම්ශා අක්කා කියන දේත් හරි තමා.
@ නිම්ශා : එක ඇත්ත නංගී.. ඒත් අවාසනාවට සමහරුන්ට ඒ දේ කරන්න වෙන වෙලාවල් තියෙනවා..
@ පිණිබිදු : ඔව්.. අපි බලමු හෙට දවස කොහොම එකක් වෙයිද කියලා..
@ බීටා : ඔව් මල්ලි එක ඇත්ත..
@ මධුරංග : ගොඩාක් ස්තුතියි යාළුවා..
කවියක් නොවු නුඹ 1,2 ලස්සනට ලියල තියෙනව.ඉස්සරහටත් එමම ලියන්න..කතාවනම් දුක හිතෙනව...
දිගටම ලියන්න මල්ලී. සුබ පැතුම්
මැණික්
@ මැණික් : ගොඩාක් ස්තුතියි අක්කේ..
@ තටු සිදුන සමනළියක් : ගොඩාක් ස්තුතියි.. දිගටම කියවන්න එන්න..
Post a Comment